අංග පහකින් යුත් භික්ෂුව අංග පහකින් යුත් සේනාසනයක වාසය කර
මේ ජීවිතයේ දී ම නිවන් දකියි
සෙනාසන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 6, නාථ වර්ගය - පිටු අංක 28 - 31)
අංග පහකින් යුතු භික්ෂුව, අංග පහකින් යුතු සෙනසුනක වාසය කර නොබෝ කලකින් මේ ජීවිතයේ දී ම ආශ්‍රවක්ෂය කර චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ලබා ගෙන අරහත්වය සාක්ෂාත් කරයි.
භික්ෂුව, කවර අංග පහකින් යුතු ද යත්;
- මේ සසුනෙහි මහණ ශ්‍රද්ධාවත් වෙයි. ශ්‍රද්ධාවත් වී මෙසේ තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය අදහයි. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත් වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විද්‍යාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝක විදූ වන සේක. අනුත්තර වන සේක. පුරුෂධම්මසාරථී වන සේක. සියලු දෙවි මිනිසුන්ට ශාස්තෘ වන සේක. බුද්ධ නම් වන සේක. භගවා නම් වන සේක’.
- අල්ප ආබාධ වූයේ වෙයි. අල්ප රෝගයෙන් යුතු වෙයි. ඉතා සිසිල් නොවූ, ඉතා උණුසුම් නොවූ, ප්‍රධන් වීර්යට සුදුසු, සම සේ ආහාර පැසවන ග්‍රහණියෙන් යුක්ත වෙයි.
- කපටි වංචාකාරී නොවූ, රැවටිලිකාර ඇස් බැන්දුම් නැති ව තමාගේ සත්‍ය ස්වභාවය තථාගතයන් වහන්සේ හෝ නුවණැති බ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රකාශ කරන්නේ වෙයි.
- අකුසල ධර්මයන් දුරු කර කුසල ධර්මයන් වැඩීම පිණිස අත් නොහළ වීර්යකින්, දැඩි වීර්යකින් යුක්ත වෙයි.
- ප්‍රඥාවන්ත වෙයි. දුක් නැති කිරීමට පමුණුවන උසස් වූ උදය වය ඥානයෙන් යුතු වෙයි.
මේ අංග පහෙන් මහණ සමන්වාගත වෙයි.
කුමන අංග පහකින් සෙනසුන සමන්විත විය යුතු ද යත්;
- සේනානසය ඉතා දුර නොවූ, ඉතා සමීප නොවූ, ගමනා ගමන පහසුව ඇති සෙනසුනක් වෙයි.
- දහවල් ගිහියන්ගෙන් සහ පැවිද්දන්ගෙන් නොපිරුණේ වේ ද, රාත්‍රියේ අල්ප ශබ්ද වූයේ ද, ඝෝෂා නැත්තේ ද වෙයි.
- මැසි මදුරු, දැඩි සුළං, තද අව්ව, සර්ප ආදීන්ගෙන් අල්ප වූයේ වෙයි.
- එම සේනාසනයේ වසන්නන්ට පහසුවෙන් සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ලැබෙයි.
- එම සේනාසනයේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති, අධිගමයට පැමිණි, ධර්මධර, විනයධර, මාතෘකාධර ස්ථවිර භික්ෂූහු වෙසෙති. කලින් කල ඒ ස්ථවිර භික්ෂූන් වෙත පැමිණ මේ කරුණ කුමක් ද? මෙහි අර්ථය කුමක් ද? යැයි ප්‍රශ්න කරයි. ඒ ස්ථවිර භික්ෂූහු නොදන්නා අර්ථයන් කියා දෙති. අපැහැදිලි තැන් පැහැදිලි කරති. සැක ඇති තැන්හි සැක දුරු කරති.
මෙසේ සෙනසුන අංග පහකින් සමන්විත විය යුතු වෙයි.
මේ අංග දහයෙන් යුතු භික්ෂුව නොබෝ කලකින් මේ ජීවිතයේ දී ම ආශ්‍රවක්ෂය කර, චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ලබා අරහත්වය සාක්ෂාත් කරයි.
බාගත කිරීමට 