එකල බුදු රජාණන් වහන්සේ මල්ලයන්ගේ උරුවෙල්කප්ප නම් නියම්ගමෙහි වැඩ වසන සේක. භද්‍රක ගාමිණී පැමිණ බුදු රජාණන් වහන්සේට වැඳ එකත්පස්ව හිඳ ‘දුකෙහි හටගැනීම සහ දුකෙහි නිරෝධය (ඉතිරි නැතිවම නැති වීම, සමූල ඝාතනය)’ දේශනා කරන සේක්වා යැයි පැවසීය.
“ගාමිණී, පෙර කාලය අරබයා දුක හටගන්නේ මෙසේය, දුක නිරෝධ වන්නේ මෙසේය හෝ මතු අනාගත කාලයෙහි දුක හටගන්නේ මෙසේය, දුක නිරෝධ වන්නේ මෙසේය යැයි කිවහොත් නුඹට සැක ඇති වීමට පුළුවන. එබැවින් මෙහි ම ‘දුකෙහි හටගැනීම සහ දුකෙහි නිරෝධය’දේශනා කරන්නෙමි” යි බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළ සේක.
ගාමිණී, මේ ගමෙහි සමහර කෙනෙක් මැරුණහොත්, බැඳ දැමුවහොත්, කරදරයට පත් වුවහොත්, ගැරහීමට අපහාසයන්ට පත් වුවහොත් නුඹට දුක් දොම්නස්, දැඩි ශෝක, ඇඬීම්, වැලපීම් උපදින මිනිසුන් සිටිනවා නොවේ ද?
එසේය ස්වාමීනි.
ගාමිණී, මේ ගමෙහි සමහර කෙනෙක් මැරුණහොත්, බැඳ දැමුවහොත්, කරදරයට පත් වුවහොත්, ගැරහීමට අපහාසයන්ට පත් වුවහොත් නුඹට දුක් දොම්නස්, දැඩි ශෝක, ඇඬීම්, වැලපීම් නූපදින මිනිසුන් ද සිටිනවා නොවේ ද?
එසේය ස්වාමීනි.
සමහර කෙනෙක් මැරුණහොත්, බැඳ දැමුවහොත්, කරදරයට පත් වුවහොත්, ගැරහීමට අපහාසයන්ට පත් වුවහොත් නුඹට දුක් දොම්නස්, දැඩි ශෝක, ඇඬීම්, වැලපීම් උපදින්නත් සමහර කෙනෙක් මැරුණහොත්, බැඳ දැමුවහොත්, කරදරයට පත් වුවහොත්, ගැරහීමට අපහාසයන්ට පත් වුවහොත් නුඹට දුක් දොම්නස්, දැඩි ශෝක, ඇඬීම්, වැලපීම් නූපදින්නත් හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?
ස්වාමීනි, මට කැමැත්තක්, ආසාවක් ඇති අය මැරුණහොත්, බැඳ දැමුවහොත්, කරදරයට පත් වුවහොත්, ගැරහීමට අපහාසයන්ට පත් වුවහොත් දුක් දොම්නස්, දැඩි ශෝක, ඇඬීම්, වැලපීම් උපදින නමුත් මට කැමැත්තක්, ආසාවක් නැති අය මැරුණහොත්, බැඳ දැමුවහොත්, කරදරයට පත් වුවහොත්, ගැරහීමට අපහාසයන්ට පත් වුවහොත් දුක් දොම්නස්, දැඩි ශෝක, ඇඬීම් වැලපීම් උපදින්නේ නැත.
ගාමිණී, මේ දැනගත්, දැකගත්, අවබෝධ කළ, සම්පූර්ණයෙන් අවබෝධ කළ අකාලික දහම අතීතයට සහ අනාගත කාලයට ද සසඳා බලන්න.
එනම් අතීත කාලයෙහි යම් දුකක් හටගත්තේ නම් ඒ දුක හටගත්තේ තණ්හාව මුල්කොට ගෙනමය, තණ්හාව හේතුකොට ගෙනමය. එසේ ම අනාගත කාලයෙහි යම් දුකක් හටගන්නේ නම් ඒ දුක හටගන්නේ ද තණ්හාව මුල්කොට ගෙනමය, තණ්හාව හේතුකොට ගෙනමය.
එසේ නම් තුන් කාලයෙහි ම දුකට හේතුව තණ්හාව ම වෙයි. එසේ ම තුන් කාලයෙහි ම ඒ තණහාවේ නිරෝධයෙන් දුක නිරෝධ වෙයි.