කාමභෝගීන් අතුරින් ශ්‍රේෂ්ඨ උතුම් කාමභෝගි ගිහියෙක් වන්නේ කෙසේ ද
කාමභොගි සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 6 - පිටු අංක 316 - 327)
- කාමභෝගි ගිහියෙක් අධාර්මික ව සැහැසිකමින් (දරුණු වූ, ප්‍රචණ්ඩ වූ, බලහත්කාරකමින්) වස්තුව සොයයි. අධාර්මික ව සැහැසිකමින් වස්තුව සොයා තමා සුවපත් නොකරයි, නොපිනවයි, සංවිභාග (තමාගේ ප්‍රයෝජනයට තිබෙන දේ බෙදා දීම) නොකරයි, පින් නොකරයි නම් මේ කාමභෝගියා කරුණු තුනකින් ගැරහිය යුතුය.
- අධාර්මික ව සැහැසිකමින් වස්තුව සෙවීම යන පළමු කරුණෙන් ද ගැරහිය යුතුය.
- තමා සුවපත් නොකරයි, තමා නොපිනවයි යන දෙවන කරුණෙන් ද ගැරහිය යුතුය.
- සංවිභාග නොකරයි, පින් නොකරයි යන තෙවන කරුණින් ද ගැරහිය යුතුය.
- මෙම කරුණු තුනෙන් ම ඔහු ගැරහිය යුතු වෙයි.
- කාමභෝගි ගිහියෙක් අධාර්මික ව සැහැසිකමින් වස්තුව සොයා නම්, එයින් තමා සුවපත් කරයි නම්, පිනවයි නම්, සංවිභාග නොකරයි නම්, පින් නොකරයි නම්, කරුණු දෙකකින් ගැරහිය යුතුය. එකකින් පැසසිය යුතුය.
- අධාර්මික ව සැහැසිකමින් වස්තුව සෙවීම යන පළමු කරුණෙන් ගැරහිය යුතුය.
- තමා සුවපත් කරයි, පිනවයි යන දෙවන කරුණෙන් පැසසිය යුතුය.
- සංවිභාග නොකරයි, පින් නොකරයි යන තෙවන කරුණෙන් ගැරහිය යුතුය.
- කාමභෝගි ගිහියෙක් අධාර්මික ව සැහැසිකමින් වස්තුව සොයා නම්, එයින් තමා සුවපත් කරයි නම්, පිනවයි නම්, සංවිභාග කරයි නම්, පින් කරයි නම් මේ කාමභෝගියා කරුණු දෙකකින් පැසසිය යුතුය එක් කරුණකින් ගැරහිය යුතුය.
- අධාර්මික ව සැහැසිකමින් වස්තුව සෙවීම යන පළමු කරුණෙන් ගැරහිය යුතුය.
- තමා සුවපත් කරයි, පිනවයි යන දෙවන කරුණෙන් පැසසිය යුතුය.
- සංවිභාග කරයි, පින් කරයි යන තෙවන කරුණෙන් පැසසිය යුතුය.
- කාමභෝගි ගිහියෙක් ධර්මයෙනුත්, අධර්මයෙනුත්, සැහැසිකමිනුත්, නොසැහැසිකමිනුත් වස්තුව සොයා තමා සුවපත් නොකරයි, නොපිනවයි, සංවිභාග නොකරයි, පින් නොකරයි නම් මේ කාමභෝගියා කරුණු තුනකින් ගැරහිය යුතුය. එක් කරුණකින් පැසසිය යුතුය.
- ධර්මයෙනුත්, නොසැහැසිකමිනුත් වස්තුව සෙවීම යන ප්‍රථම කරුණින් පැසසිය යුතුය.
- අධර්මයෙනුත්, සැහැසිකමිනුත් වස්තුව සෙවීම යන දෙවන කරුණින් ගැරහිය යුතුය.
- තමා සුවපත් නොකරයි, නොපිනවයි යන තෙවන කරුණින් ගැරහිය යුතුය.
- සංවිභාග නොකරයි, පින් නොකරයි යන සතරවන කරුණින් ගැරහිය යුතුය.
- කාමභෝගි ගිහියෙක් ධර්මයෙනුත්, අධර්මයෙනුත්, සැහැසිකමිනුත්, නොසැහැසිකමිනුත් වස්තුව සොයා තමා සුවපත් කරයි නම්, පිනවයි නම්, සංවිභාග නොකරයි නම්, පින් නොකරයි නම් මේ කාමභෝගියා කරුණු දෙකකින් ගැරහිය යුතුය. කරුණු දෙකකින් පැසසිය යුතු වෙයි.
- ධර්මයෙනුත්, නොසැහැසිකමිනුත් වස්තුව සෙවීම යන ප්‍රථම කරුණින් පැසසිය යුතුය.
- අධර්මයෙනුත්, සැහැසිකමිනුත් වස්තුව සෙවීම යන දෙවන කරුණින් ගැරහිය යුතුය.
- තමා සුවපත් කරයි, පිනවයි යන තෙවන කරුණින් පැසසිය යුතුය.
- සංවිභාග නොකරයි, පින් නොකරයි යන සතරවන කරුණින් ගැරහිය යුතුය.
- කාමභෝගි ගිහියෙක් ධාර්මික ව සහ අධාර්මික ව, සැහැසිකමින් සහ නොසැහැසිකමින් වස්තුව සොයා තමා සුවපත් කරයි නම්, පිනවයි නම්, සංවිභාග කරයි නම්, පින් කරයි නම් මේ කාමභෝගියා කරුණු එකකින් ගැරහිය යුතුය. කරුණු තුනකින් පැසසිය යුතුය.
- ධාර්මික ව නොසැහසිකමින් වස්තුව සෙවීම යන ප්‍රථම කරුණින් පැසසිය යුතුය.
- අධාර්මික ව සැහැසිකමින් වස්තුව සෙවීම යන දෙවන කරුණින් ගැරහිය යුතුය.
- තමා සුවපත් කරයි, පිනවයි යන තෙවන කරුණින් පැසසිය යුතුය.
- සංවිභාග කරයි, පින් කරයි යන සතරවන කරුණින් පැසසිය යුතුය.
- කාමභෝගි ගිහියෙක් ධාර්මික ව නොසැහැසි කමින් වස්තුව සොයා තමා සුවපත් නොකරයි නම්, නොපිනවයි නම්, සංවිභාග නොකරයි නම්, පින් නොකරයි නම් මේ කාමභෝගියා එක් කරුණකින් පැසසිය යුතුය. කරුණු දෙකකින් ගැරහිය යුතුය.
- ධාර්මික ව නොසැහැසි කමින් වස්තුව සෙවීම යන ප්‍රථම කරුණින් පැසසිය යුතුය.
- තමා සුවපත් නොකරයි, නොපිනවයි යන දෙවන කරුණින් ගැරහිය යුතුය.
- සංවිභාග නොකරයි, පින් නොකරයි යන තෙවන කරුණින් ගැරහිය යුතුය.
- කාමභෝගි ගිහියෙක් ධාර්මික ව, නොසැහැසිකමින් වස්තුව සොයා තමා සුවපත් කරයි නම්, පිනවයි නම්, සංවිභාග නොකරයි නම්, පින් නොකරයි නම් මේ කාමභෝගියා කරුණු දෙකකින් පැසසිය යුතුය. එක් කරුණකින් ගැරහිය යුතුය.
- ධර්මයෙන් නොසැහැසිකමින් වස්තුව සෙවීම යන ප්‍රථම කරුණින් පැසසිය යුතුය.
- තමා සුවපත් කරයි, පිනවයි යන දෙවන කරුණින් පැසසිය යුතුය.
- සංවිභාග නොකරයි, පින් නොකරයි යන තෙවන කරුණින් ගැරහිය යුතුය.
- කාමභෝගි ගිහියෙක් ධාර්මික ව, නොසැහැසිකමින් වස්තුව සොයා තමාව සුවපත් කරයි, පිනවයි, සංවිභාග කරයි, පින් කරයි. ඒ වස්තුව පිළිබඳ ගිජු වී, මුළා වී, බැසගෙන, ආදීනව නොදක්නා සුලු ව, එයින් නිදහස් වීමේ ප්‍රඥාව නැති ව ඒ වස්තූන් පරිභෝග කරයි නම්, මේ කාමභෝගියා කරුණු එකකින් ගැරහිය යුතුය. කරුණු තුනකින් පැසසිය යුතුය.
- ධර්මයෙන් නොසැහැසිකමින් වස්තුව සෙවීම යන ප්‍රථම කරුණින් පැසසිය යුතුය.
- තමා සුවපත් කරයි. පිනවයි යන දෙවන කරුණින් පැසසිය යුතුය.
- සංවිභාග කරයි. පින් කරයි යන තෙවන කරුණින් පැසසිය යුතුය.
- වස්තුව පිළිබඳ ගිජු වී, මුළා වී, එහි බැසගෙන, ආදීනව නොදක්නා සුලු ව, එයින් නිදහස් වීමේ ප්‍රඥාව නැති ව, ඒ වස්තුව පරිභෝග කරයි යන සතර වන කරුණින් ගැරහිය යුතුය.
- කාමභෝගි ගිහියෙක් ධාර්මික ව, නොසැහැසිකමින් වස්තුව සොයා තමා සුවපත් කරයි, පිනවයි, සංවිභාග කරයි, පින් කරයි. ඒ වස්තුව පිළිබඳ ගිජු නො වී, මුළා නොවී, නොබැසගෙන, ආදීනව දක්නා සුලු ව, එයින් නිදහස් වීමේ ප්‍රඥාව ඇති ව ඒ වස්තූන් පරිභෝග කරයි නම් මේ කාමභෝගියා කරුණු හතරකින් පැසසිය යුතුය.
- ධාර්මික ව නොසැහැසිකමින් වස්තුව සෙවීම යන ප්‍රථම කරුණින් පැසසිය යුතුය.
- තමා සුවපත් කරයි, පිනවයි යන දෙවන කරුණින් පැසසිය යුතුය.
- සංවිභාග කරයි, පින් කරයි යන තෙවන කරුණින් පැසසිය යුතුය.
- වස්තුව පිළිබඳ ගිජු නොවී, මුළා නොවී, එහි නොබැසගෙන, ආදීනව දක්නා සුලු ව, එයින් නිදහස් වීමේ ප්‍රඥාව ඇති ව, ඒ වස්තූන් පරිභෝග කිරීම යන සතරවන කරුණින් පැසසිය යුතුය.
ලොවෙහි මේ දස කාමභෝගීහු විද්‍යමාන වෙති.
මේ දස කාමභෝගීන් අතුරෙන් යම් කාමභෝගියෙක් ධර්මික ව, නො සැහැසිකමින් වස්තුව සොයා නම්, එයින් තමා සුවපත් කෙරෙයි නම්, පිනවයි නම්, සංවිභාග කරයි නම්, පින් කරයි නම්, ඒ වස්තූන් කෙරෙහි ගිජු නොවී, මුළා නොවී, එහි නොබැසගෙන, ආදීනව දක්නා සුලු ව එයින් නිදහස් වීමේ ප්‍රඥාව ඇති ව ඒ වස්තූන් පරිභෝග කරයි නම් මේ කාමභෝගියා දස කාමභෝගීන් අතුරින් අග්‍ර ද, ශ්‍රේෂ්ඨ ද, ප්‍රධාන ද, ඉතා උතුම් ද වෙයි.
බාගත කිරීමට 