Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කෙරෙහි වසඟ වූ භික්ෂුව
අසූචි කන පණුවෙක් වැනිය

මීළහක සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ සංයුක්ත නිකාය 2 - පිටු අංක 348 - 349)

මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. කටුක ය. නපුරු ය. ඉතා උතුම් වූ නිවන් අවබෝධය සාක්ෂාත් කිරීම පිණිස අන්තරායකාරී වෙයි.

මහණෙනි, යම් සේ අසූචි කන පණුවෙක් වේ ද ඔහු ඉදිරියෙහි ඇති මහා අසූචි ගොඩක් දැක, ‘මම අසූචි කන්නෙමි. අසූචි ගොඩක් ලැබුනෙමි. අසූචි වලින් සමෘද්ධ වූයෙමි. මා ඉදිරියෙහිත් මහා අසූචි ගොඩක් තිබේ’ යැයි අනෙක් අසූචි කන පණුවන් ඉක්මවා සිතයි.

මහණෙනි, එසේ ම මේ සසුනෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට වසඟ වී, හාත්පසින් ගොදුරු වී, ගොදුරු වූ සිත් ඇත්තේ පෙරවරුයෙහි පාත්‍ර සිවුරු ගෙන පිණ්ඩපාතය පිණිස යයි. එහි දී ඇතිතාක් වැළදීමට පිණ්ඩපාතය ද ලැබෙයි. පසු දින පිණිස පවරන ලද්දේත් වෙයි. ඔහු ආරණ්‍යයට ගොස් අනෙක් භික්ෂූන් මැද මම ඇතිතාක් පිණ්ඩපාතය ලැබුවෙමි. හෙට පැවරීමක් ද ලැබුවෙමි.

මම චීවර පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නෙක් වෙමි. අනෙක් භික්ෂූන් මඳ පින් ඇත්තෝය, අල්පේශාඛ්‍යය (ස්වල්ප වූ තෙද බල ඇති, ආනුභාව රහිතය), චීවර පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන්නෝ ය.

මෙසේ තමා ව වර්ණනා කරයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් මැඬී ඒවායෙන් මත් වී අනෙක් ප්‍රියශීලී භික්ෂූන් ඉක්මවා සිතයි. ඒ හිස් නූගත් පැවිද්දාට මෙය දිගු කලක් අහිත පිණිස දුක් පිණිස ම වෙයි.

මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. කටුක ය. නපුරු ය. ඉතා උතුම් වූ නිවන් අවබෝධය සාක්ෂාත් කිරීම පිණිස අන්තරායකාරී වෙයි.

මහණෙනි, එම නිසා නුඹලා මෙසේ ම හික්මිය යුතුය. ‘උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අපගේ සිත හාත්පසින් මැඬ පැවැත්වීමට ඉඩ නොදෙමු’ යි තොප විසින් මෙසේ ම හික්මිය යුතු ම ය.


බාගත ​කිරීමට