හණ වස්ත්‍ර වැනි දුස්සීල පාපකාරී භික්ෂුව
හඳුනා ගෙන දුරින් දුරු කරමු
තික නිද්දෙසො ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අභිධර්ම පිටකය, පුග්ගලපඤ්ඤත්තිප්පකරණය - පිටු අංක 312 - 315)
හණ රෙද්දෙන් කළ වස්ත්‍ර වැනි පුද්ගලයෝ තිදෙනෙක් වෙති. හණ වස්ත්‍ර තුනකි.
කවර තුනක් ද යත්;
- අළුත් හණ වස්ත්‍රය වුව ද අවලස්සන වෙයි, කයට රළු පහසක් ම ඇත්තේ ද වෙයි, ස්වල්ප වටිනාකමකින් ද යුතු වෙයි.
- මධ්‍යම හණ වස්ත්‍රය වුව ද අවලස්සන වෙයි, කයට රළු පහසක් ම ඇත්තේ ද වෙයි, ස්වල්ප වටිනාකමකින් ද යුතු වෙයි.
- දිරා ගිය හණ වස්ත්‍රය වුව ද අවලස්සන වෙයි, කයට රළු පහසක් ම ඇත්තේ ද වෙයි, ස්වල්ප වටිනාකමකින් ද යුතු වෙයි. එය වළං අල්ලන්නට හෝ ගන්නේ වෙයි. කුණු වළකට හෝ දමන්නේ වෙයි.
එපරිද්දෙන් ම භික්ෂූන් වහන්සේලා අතර ද හණ වස්ත්‍ර වැනි භික්ෂූන් වහන්සේලා තිදෙනෙක් වෙති.
කවර තිදෙනෙක් ද යත්;
- මෙසස්නෙහි නවක මහණ දුසිල්වත් වූයේ, පාපකාරී ගති ඇත්තේ වේ ද මේ ඔහුගේ අවලස්සන බව වෙයි. යම් සේ ඒ හණ වස්ත්‍රය අවලස්සන වූයේ ද මේ නවක මහණ ද එසේ ම වෙයි.
- යම් කෙනෙක් ඔහු ඇසුරු කරන්නේ ද, සේවනය කරන්නේ ද, ඔහුගේ දෘෂ්ටිය අනුව හැසිරෙන්නේ ද එය ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස වෙයි. මෙය ඔහුගේ රළු පහස වෙයි. යම් සේ හණ වස්ත්‍රය රළු පහසක් ම ඇත්තේ ද මේ නවක මහණ ද එබඳු වෙයි.
- තව ද මේ මහණ යම් කෙනෙකුගේ සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත්, පිරිකර පිළිගන්නේ ද ඔවුන්ට එය මහත්ඵල මහානිසංස නොවෙයි. මේ ඔහුගේ නොවටිනාකම වෙයි. යම් සේ හණ වස්ත්‍රය ස්වල්ප වටිනාකමකින් යුතු වේ ද මේ නවක මහණ ද එබඳු ම වෙයි.
- මෙසස්නෙහි මධ්‍යම මහණ ද දුසිල්වත් වූයේ, පාපකාරී ගති ඇත්තේ වේ ද මේ ඔහුගේ අවලස්සන බව වෙයි. යම් සේ ඒ හණ වස්ත්‍රය අවලස්සන වූයේ ද මේ මධ්‍යම මහණ ද එසේ ම වෙයි.
- යම් කෙනෙක් ඔහු ඇසුරු කරන්නේ ද, සේවනය කරන්නේ ද, ඔහුගේ දෘෂ්ටිය අනුව හැසිරෙන්නේ ද එය ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස වෙයි. මෙය ඔහුගේ රළු පහස වෙයි. යම් සේ හණ වස්ත්‍රය රළු පහසක් ම ඇත්තේ ද මේ මධ්‍යම මහණ ද එබඳු වෙයි.
- තව ද මේ මහණ යම් කෙනෙකුගේ සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත්, පිරිකර පිළිගන්නේ ද ඔවුන්ට එය මහත්ඵල මහානිසංස නොවෙයි. මේ ඔහුගේ නොවටිනාකම වෙයි. යම් සේ හණ වස්ත්‍රය ස්වල්ප වටිනාකමකින් යුතු වේ ද මේ මධ්‍යම මහණ ද එබඳු ම වෙයි.
- මෙසස්නෙහි ස්ථවිර මහණ ද දුසිල්වත් වූයේ, පාපකාරී ගති ඇත්තේ වේ ද මේ ඔහුගේ අවලස්සන බව වෙයි. යම් සේ ඒ හණ වස්ත්‍රය අවලස්සන වූයේ ද මේ ස්ථවිර මහණ ද එසේ ම වෙයි.
- යම් කෙනෙක් ඔහු ව ඇසුරු කරන්නේ ද, සේවනය කරන්නේ ද, ඔහුගේ දෘෂ්ටිය අනුව හැසිරෙන්නේ ද එය ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වෙයි. මෙය ඔහුගේ රළු පහස වෙයි. යම් සේ හණ වස්ත්‍රය රළු පහසක් ම ඇත්තේ ද මේ මහණ ද එබඳු වෙයි.
- තව ද මේ ස්ථවිර මහණ යම් කෙනෙකුගේ සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගන්නේ ද ඔවුන්ට එය මහත්ඵල මහානිසංස නොවෙයි. මේ ඔහුගේ නොවටිනාකම වෙයි. යම් සේ හණ වස්ත්‍රය ස්වල්ප වටිනාකමකින් යුතු වේ ද මේ ස්ථවිර මහණ ද එබඳු ම වෙයි.
මේ ස්ථවිර මහණ සංඝයා මැද කථා කරන්නේ නම් ඔහුට භික්ෂූහු මෙසේ කියති.
“බාල වූ අව්‍යක්ත වූ නුඹගේ කථාවෙන් ප්‍රයෝජනයක් නැත. නුඹ වගේ අයත් සංඝයා මැද කථා කරන්න හිතනවා ද?”
හෙතෙම කෝපයට පත් වී, නොසතුටට පත් වී බැන වදියි. දිරා ගිය හණ වස්ත්‍රය කුණු වළකට හෝ දමන්නා සේ සංඝයා ඔහු එලියට ඇද දමති.
බාගත කිරීමට 