Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස සඳහා වූ පොදු කරුණු සහ උපදෙස් /

කථාවට සුදුසු පුද්ගලයා දැන හඳුනා ගෙන
එවන් පුද්ගලයන් සමඟ පමණක් කථා කරන්න

මහා වර්ගය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1, තික නිපාතය - පිටු අංක 352 - 357)

කථාවට වස්තු (කාරණා) තුනකි.

  1. අතීත කාලය අරබයා (ගැන) ‘අතීත කාලයෙහි මෙසේ වූයේ’ යැයි කියයි.
  2. අනාගත කාලය අරබයා ‘අනාගත කාලයෙහි මෙසේ වන්නේ’ යැයි කියයි.
  3. වර්තමාන කාලය අරබයා ‘වර්තමාන කාලයෙහි මෙසේ වේ’ යැයි කියයි.

කථාවෙහි යෙදීමෙන් (සාකච්ඡාවෙන්) ම කථාවට සුදුසු පුද්ගලයා දත යුතුය.

යම් පුද්ගලයෙක් ප්‍රශ්නයක් විමසූ විට

  • එක එල්ලේ ම විසඳිය යුතු ප්‍රශ්නය එක එල්ලේ ම විසඳයි නම්,
  • බෙදා විසඳිය යුතු ප්‍රශ්නය බෙදා විසඳයි නම්,
  • නැවත ප්‍රශ්න කර විසඳිය යුතු ප්‍රශ්නය නැවත ප්‍රශ්න කර විසඳයි නම්,
  • තැබිය(නොවිසඳිය) යුතු ප්‍රශ්නය තබා නම්,

මෙවන් පුද්ගලයා කථාවට සුදුසු වෙයි.

ඉදින් මේ පුද්ගල තෙම ප්‍රශ්න අසන ලද්දේ

  • කරුණු කාරණායෙහි (වැඩ අවැඩ බවෙහි, යුතු අයුතු බවෙහි) පිහිටයි නම්,
  • අදහස් කරන ලද්දෙහි පිහිටයි නම්,
  • තමන් දැන සිටි වාදයෙහි පිහිටයි නම්,
  • ප්‍රතිපත්තියෙහි පිහිටයි නම්,
  • එය ට අදාලව ම කියා නම්,
  • කථා කරන දේ මාතෘකාවෙන් පිටට රැගෙන නොයයි නම්,
  • කෝපය, ද්වේෂය, නොසතුට පහළ නොකරයි නම්,
  • අදාල නැති කරුණු ඔබනොබින් දක්වා බාධා නොකරයි නම්,
  • බණිමින් කථාව යටපත් නොකරයි නම්,
  • මහත් ශබ්ද නගා මහ හඬින් සිනා නොවෙයි නම්,
  • ස්වල්ප වූ කට වැරැද්දක්(අදහස් කළ දේ පැටලී වෙන දෙයක් කීමක්) අල්ලා නොගනියි නම්,

මෙවන් පුද්ගලයා කථාවට සුදුසු වෙයි.

කථාවෙහි යෙදීමෙන් ම යම් පුද්ගලයෙක් උපනිශ්‍රය(හේතු සම්පත්තිය) සහිත වේ යැයි දත යුතුය.

යොමු කළ කන් ඇති ව අසන්නා උපනිශ්‍රය සහිත වෙයි.

එසේ උපනිශ්‍රය සහිත තැනැත්තා,

  • එක් දහමක්(දුක නැති කරන මාර්ගය) මනා සේ දනියි.
  • එක් දහමක්(දුක) පිරිසිඳ දැන ගනියි.
  • එක් දහමක්(තණ්හාව) දුරු කරයි.
  • එක් දහමක්(දුක්ඛ නිරෝධය ) සාක්ෂාත් කරයි.

ඔහු එක් දහමක් විශේෂයෙන් දැන, එක් දහමක් පිරිසිඳ දැන, එක් දහමක් දුරු කර, එක් දහමක් සාක්ෂාත් කර සම්මා විමුක්තිය ස්පර්ශ කෙරෙයි.

යම් මේ සිතෙහි අනුපාදා විමුක්තියක් වේ ද, කථාව මෙය ම අර්ථ කොට ඇත. සාකච්ඡාව මෙය ම අර්ථ කොට ඇත. උපනිශ්‍රය මෙය ම අර්ථ කොට ඇත. යොමු කළ කන් ඇතිව ඇසීම මෙය ම අර්ථ කොට ඇත.

කථාවට හෝ සාකච්ඡාවට සුදුසු පුද්ගලයා දැන හඳුනා ගෙන එවන් පුද්ගලයන් සමඟ කථා කරන්න. සාකච්ඡා කරන්න. ප්‍රඥාවන්ත ධර්මධර ආර්ය පුද්ගලයින් සමඟ සාකච්ඡා කිරීම සියලු දුකෙන් මිදීම පිණිස ම හේතු වෙයි. ඊර්ෂ්‍යා රහිත, සත්‍යවාදී, මුළා නොවුණු, ධාර්මික කථා කරන ඒ ප්‍රඥාවන්තයෝ සුභාෂිතයට සතුටු වෙති. දුර්භාෂිතයට නොගැටෙති. මෙ වැනි පුද්ගලයින් සමඟ කථා කිරීම යහපතක් ම වනු ඇත.


බාගත ​කිරීමට