ඉතා සොඳුරු, කීර්තිමත්, හැම දිශාව ම එළිය කරන දිව්‍යාංගනාවක් සිටියාය. ඇය පිරිවරා ගත් දිව්‍ය අප්සරාවෝ සහ දිව්‍යාංගනාවෝ ගී ගයමින් නටති. ඇයගේ විමානය ද රත්තරනින් නිම වී තිබිණි. මහානුභාව සම්පන්න වූ ඇය පංච කාම සම්පත් වලින් සමෘද්ධ ව සිටියාය.
මේ දෙව් දුව දුටු මුගලන් මහ තෙරුන් වහන්සේ ඇයගෙන් මෙසේ විමසූ සේක.
“පින්වත් දෙව් දුව, මෙතරම් ලස්සනක් සහ මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනක් කරලාද?”
මේ පැනයෙන් ඉතා සතුටු වූ දෙව් දුව මෙසේ පිළිතුරු දුන්නාය.
“මම අතීත ජීවිතයේ මිනිස් දුවක් වෙලා සිටියේ. ඒ වගේ ම මම හිටියේ දුස්සීල පවුලක ලේලියක් වෙලා. ඔවුන් හරි ම ලෝභයි. කිසි ම ශ්‍රද්ධාවක් නැහැ. නමුත් මට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් තිබුණා. සිල්වත් වුණා. නිතර ම දන් දීමට ආශා කළා. දිනක් පිණ්ඩපාතයේ වැඩිය ඔබ වහන්සේට මම කැවුමක් පූජා කළා. පසු ව මම මගේ නැන්දණියට මේ ගැන කිව්වා. ඒක අහපු ඇය තදින් ම කිපිලා මට පරිභව කළා. ඒ විතරක් නෙවෙයි මට මෝල් ගහෙන් පහර දුන්නා. ඒ පහර නිසා මගේ උරහිස් කැඩුණා. වැඩි කාලයක් ජීවත් වුණේ නැහැ, මම මිය ගිහින් ඒ දුකින් නිදහස් වෙලා තව්තිසාවේ පහළ වුණා.
පින්වත් ස්වාමීන් වහන්ස, මේ සියලු සැප සම්පත්වලට හේතු වූ පින තමයි ඒ. මිනිස් ලොව දී කර ගත් ඒ පින නිසයි මේ බැබළි බැබළී ඉන්නේ”.