මහණෙනි, පිනට බිය නොවිය යුතුය. පින යනු සැපයට කියන තවත් නමකි.
මහණෙනි, මම වනාහි බොහෝ කලක් තිස්සේ කරන ලද පුණ්‍ය කර්මවල සිත් අදනා වූ මනාප වූ විපාකය බොහෝ කලක් වින්දෙමි.
සත් වසක් මෛත්‍රී සිත වඩා සංවට්ට විවට්ට කල්ප සතක් නැවත මෙලොවට නොපැමිණියෙමි. කල්පය විනාශ වන කල්හි ආභස්සර ලොවට පැමිණියෙමි. කල්පය හට ගන්නා කල්හි හිස් ශූන්‍ය බ්‍රහ්ම විමානයක ඉපදුණෙමි. එහි මහා බ්‍රහ්මයා වී සියල්ලන් ම මැඩ පැවැත්විය හැකි වීමි. කිසිවෙකු විසින් මා මැඩ පැවැත්විය නොහැකි විය. සියල්ල දක්නාසුලු ව වසඟයේ පවත්වනසුලු වීමි.
තිස්හය වරක් දෙවියන්ට අධිපති වූ ශක්‍රයා වීමි. සියලු ලෝකයට අධිපති ව සත් රුවනින් යුතු සිව් මහා දිවයින් දිනන ලද චක්‍රවර්ති රජ වීමි. ඒ සත් රුවන නම් චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය සහ පරිනායක රත්නයයි. එ කල්හි මට සූර වීර වූ සතුරු සෙන් මැඩලිය හැකි දහසකට වැඩි පුත්‍රයෝ වූහ. සක්විති රජ වී මේ පෘථිවිය දඬු මුගුරු, අවි ආයුධ ආදිය නොගෙන ධර්මයෙන් දිනා වාසය කළෙමි.
සැපයට කැමති සැප සොයන්නනි, කුසල සංඛ්‍යාත පුණ්‍යයාගේ විපාකය බලවු. වසර සතක් මෙත් සිත වඩා සංවට්ට විවට්ට කල්ප සතක් මෙලොවට නොපැමිණියෙමි.
බුදුවරු ලෝකයට උපකාර කරන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය මනා ව දේශනා කරන ලදි.
ලොවට අධිපති බව උසස් බවට හේතුවකි. බොහෝ සමෘද්ධිමත් වී යසස් ඇති ජම්බුද්වීපයේ අධිපති වීමි.
පව්කාර හීන ජාතියෙහි ඉපදුණ කෙනෙක් පවා කෙසේ නම් මේ කරුණ අසා නොපහදින්නේ ද?
තමන්ට වැඩ කැමති, දියුණු බව කැමති තැනැත්තා බුදුවරුන්ගේ අනුශාසනය සිහි කරමින් සද්ධර්මයට ගරු කළ යුත්තේ ය.