අහස පොළොව එළිය කරන ඉර සඳ සේ ද, තව්තිසා දෙවියන් පරදවා බබළන බ්‍රහ්මයා සේ ද, ශරීර සෝභාවෙන් යසසින් තේජසින් බබළන දෙව් දුවක් සිටියාය. ඇය නිල් මහනෙල් මල් මාලාවක් පැළඳ සිටි අතර ඇයගේ සම රන්වන් පාටින් දිළිසුණි. එමෙන් ම ඒ දෙව් දුව අලංකාර වස්ත්‍රවලින් සැරසී සිටියාය.
මෙම දෙව් දුව මුගලන් මහ රහතන් වහන්සේට වන්දනා කළ අවස්ථාවේ උන් වහන්සේ ඇයගෙන් මෙසේ විමසූ සේක.
“මේ යසස් ඇති සුගතියේ ඉපදීමට ඔබ කළ පින කුමක්ද? කලින් ජාතියේ ඔබ දන් දුන්නා ද? නැත්නම් හොඳින් සිල් ආරක්ෂා කළා ද?”
දෙව් දුව මෙසේ පිළිතුරු දුන්නාය.
“ඔබ වහන්සේ දිනක් අපේ නිවසට පිණ්ඩපාතයේ වැඩියා. මගේ සිත පැහැදිලා ලොකු සතුටක් ඇතිවුණා. මම උක් දණ්ඩක් රැගෙන ඔබ වහන්සේට පූජා කළා. පසු ව මගේ නැන්දණිය මගෙන් විමසුවා උක් දණ්ඩ කොහි ද කියා. මම කිව්වා ‘ඒක විසි කළේවත් කෑවෙවත් නැහැ, ශාන්ත වූ ස්වාමීන් වහන්සේ නමකට පූජා කළා’ කියලා.
ඒ ගැන කිපුණු නැන්දණිය ‘මේ ගෙදර ප්‍රධානියා තී ද? මා ද?’ කියලා මට පරිභව කරලා එතැන තිබුණු පුටුව අරගෙන මට පහර දුන්නා. මම කලුරිය කරලා එයින් චුත වෙලා දෙව් දුවක් වුණා.
මම කළේ ඔය කුසල කර්මය තමයි. ඒ නිසා මම දැන් සැප විඳිනවා. දෙවියන් පිරිවරා ගෙන ඉන්නවා. සක් දෙවිඳු තමයි මේ තව්තිසාව රකින්නේ. ඒ දෙවිවරු තමයි මාව රකින්නේ.
මම දිව්‍ය වූ පස්කම් සැපයෙන් සතුටු වෙනවා. මෙබඳු වූ උක් දඬු පූජාවකත් මහා පුණ්‍ය විපාකයක් තිබෙනවා”.