මහානුභාව සම්පන්න සෑම දිශාවේ ම බබළන රූපයකට හිමිකම් කියන දෙව් දුවක් දුටු මුගලන් මහ තෙරුන් වහන්සේ, ඇයගෙන් මෙසේ විමසූ සේක.
“පින්වත් දෙව් දුව, මිනිස් ලෝකෙ සිටිද්දී මොනවගේ පිනක් ද කළේ මෙවැනි ආනුභාව සම්පන්න සිරුරක් ලබන්න. ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාව ම බබළනවා”.
දෙව් දුව සතුටින් මෙසේ පිළිතුරු දුන්නාය.
“මම එසිකා කියන රටේ කඳු පෙදෙසක පිහිටා තිබූ පණ්ණක කියන නගරයේ ජීවත් වුණේ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වැඩියා. මම උන් වහන්සේට ඇහැළ මල් කළඹක් පූජා කළා. ඒ පිනෙන් තමයි මට මේ ප්‍රිය උපදවන සියලු සම්පත් ලැබුණේ”.
ඒ ඉන්දීවරදායිකා දෙව් දුවයි.
නැවතත් එවැනි ම ආනුභාව සම්පන්න දෙව් දුවක් දුටු මුගලන් තෙරනුවෝ ඇයගෙන් ද තමා කළ පින කුමක්දැයි විමසූ සේක.
ඇය ද මෙසේ පිළිතුරු දුන්නාය.
“මමත් එසිකා රටේ පණ්ණක නගරයේ ජීවත් වුණේ. පිඬුසිඟා වැඩි භික්ෂූන් වහන්සේ නමකට මම නිල් මහනෙල් මල් කළඹක් පූජා කළා. ඒ පිනෙන් තමයි මට මේ සැප සම්පත් සහ ලස්සන ලැබුණේ”.
ඒ නීලුප්පලදායිකා දෙව් දුවයි.
මහානුභාව සම්පන්න බබළන සිරුරක් ඇති තවත් දෙව් දුවක් දුටු මුගලන් තෙරනුවෝ ඇයට ද මෙම පැනය යොමු කළ සේක.
සතුටු වූ දෙව් දුව පැවසුවේ තමා ද එසිකා රටේ පණ්ණක නගරයේ ජීවත් වන විට, පිඬු පිණිස හැසිරුණු භික්ෂූන් වහන්සේ නමකට විලේ හැදුණු කොළ පැහැති පත්‍ර ඇති, සුදු මුල් ඇති නෙළුම් මල් කළඹක් පූජා කළ බවයි. ඒ පිනෙන් තමන්ට මේ බැබළෙන සිරුර ලැබුණු බවද ඇය පැවසුවාය.
ඒ ඔදාතමූලදායිකා දෙව් දුවයි.
සුන්දර රූපයෙන් බබළන සිරුරකට හිමිකම් කියූ තවත් දෙව් දුවක් දුටු මුගලන් මහ රහතන් වහන්සේ ඇයගෙන් ද මේ සැපයට හේතු වූ පින විමසූ සේක.
දෙව් දුව මෙසේ පැවසුවාය.
“මම එසිකා නම් රටේ පණ්ණක කියන නගරයේ ජීවත් වුණේ. මගේ නම වුණේ සුමනා. මම පිණ්ඩපාතයේ වැඩිය භික්ෂූන් වහන්සේ නමකට ඇත් දළ පාට ඇති දෑ සමන් මල් කැකුළු පූජා කළා. ඒකෙ විපාකය තමයි මේ. මේ බැබළි බැබළි ඉන්න ලස්සන මට ලැබුණේ ඒ නිසාමයි”.
ඒ සුමනමකුළදායිකා දෙව් දුවයි.