සක් දෙවිඳු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන් මෙසේ විමසුවේය.
“ස්වාමීනි, එක් දවසක් ඔබ වහන්සේ පිණ්ඩපාතයේ වැඩලා එක් නිවසක් ලඟ නිශ්ශබ්ද ව සිටිය දී, ඒ ගෙදර සිටි දුප්පත් ස්ත්‍රියක් ඔබ වහන්සේට දන්කුඩ බතක් පූජා කළා. දැන් ඇය මිනිස් සිරුර අතහැර ගිහින්. ඇය ගියේ කොයි දිශාවට ද?”
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් මෙසේ වදාළ සේක. “සක්දෙවි රජුනි, මා පිණ්ඩපාතයේ වැඩිය වෙලාවක ඔවැනි දෙයක් වුණා තමයි. ඇය සිත පහදවා ගෙන දුන් ඒ දන්කුඩ දානයේ විපාකය ලෙස මහා සෘද්ධිමත් දෙවිවරු සිටින නිම්මානරතී දෙව් ලොව ඉපිද සුවසේ සතුටින් සිටිනවා. අනුන්ගේ නිවෙස් වලට සිඟමනේ ගොස් සොයා ගත් දෙයිනුයි ඒ දානය පූජා කර ගත්තේ.
සුන්දර වූ ස්ත්‍රියක සිටිනවා. ඇය සක්විති රජුගේ අග මෙහෙසිය බවට පත් වෙනවා. නමුත් ඒ සම්පත්, මේ දන්කුඩ දාන විපාකයේ සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නැහැ.
ලක්ෂය බැගින් වූ කහවණු, අශ්වයන්, වෙළඹුන් යෙදවූ අශ්ව රථ, සුන්දර මිණිකොඬොල් ආභරණවලින් සැරසුණු ලක්ෂයක් කන්‍යාවන් කියන මේ කිසි දෙයක් දන්කුඩ දානයේ විපාකයේ සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නැහැ.
රථ රෝදයේ හැඩයට කරකැවී ඇති දළ සහිත හේමවත නම් ඇතුන් ජාතියක් සිටිනවා. රනින් කළ ආභරණ වලින් ඒ ඇතුන්ගේ බෙල්ල සරසලා තිබෙනවා. එබඳු ඇතුන් සියයක් ලැබුණත් දන්කුඩ දානයේ සොළොස්වැනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නැහැ.
මේ ලෝකයේ කවුරු හරි සක්විති රජ පදවියට පත් වනවා නම්, එය ද දන්කුඩ දානයේ විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නැහැ”. මේ ඒ දන්කුඩ දානයේ මහත් වූ විපාකයයි.