ඥාති ප්‍රේතයෝ තමන්ගේ ගෙය කරා පැමිණ, බිත්තියෙන් පිටත ද, දොර මුලුවල ද, හතර මං හන්දිවල ද සිටිති. එහෙත් ඒ අයගේ අකුසල කර්ම නිසා කිසි ම නෑදෑයෙක් ප්‍රණීත කන බොන දෑ ඇති අවස්ථාවල දී ඒ අය සිහි නොකරති.
මිය ගිය ඥාතීන්ට අනුකම්පා කරන්නෝ ප්‍රණීත, පිරිසිදු, කැප ආහාර පාන දන් දී ‘මේ පින් පරලොව ගිය අපගේ නෑයන්ට වේවා. ඒ ඥාතීන් සුවපත් වේවා’ (ඉදං වො ඤාතිනං හොතු - සුඛිතා හොන්තු ඤාතයො) යි පින් අනුමෝදන් කරති.
ඒ නෑදෑ ප්‍රේතයෝ පැමිණ, තමන් උදෙසා මෙසේ දන් දී පින් අනුමෝදන් කරන ඥාතීන්ට මෙලෙස සෙත් පතති. ‘නෑයන් නිසා අපට මේ සම්පත් ලැබුණා. ඒ අය බොහෝ කල් ජීවත් වෙත්වා’. මෙසේ ඒ දායකයන් ද ඵල රහිතයෝ නොවෙති.
ඒ ප්‍රේත ලොව ගොවිතැන්, වෙළඳාම, රන් රිදී, මුදල් ගනු දෙනු නැත. ඒ අය මිනිස් ලොව සිටින තමන්ගේ ඥාති හිත මිතුරන් විසින් දෙන පිනෙන් යැපෙති. උස් බිමකට වැටෙන ජලය පහත් බිමකට ගලා යන්නා සේ, මිනිස් ලොව සිටින්නන් අනුමෝදන් කරන පින් ඒ අයට ලැබෙයි.
මිනිස් ලොව වසන්නවුන් විසින් මිය ගිය අය සිහි කර ‘ඒ අය මිනිස් ලොව ජීවත් ව සිටිනා කල;
මෙසේ කරන ලද උපකාර හා තම හිතවත්කම් සිහි කරමින් දන් දිය යුතුය.
මිය පරලොව ගිය අය ගැන සිහි කර හැඬීමෙන් හෝ වැලපීමෙන් හෝ ශෝක කිරීමෙන් ඒ අයට සිදු වන යහපතක් නැත. ඒ අය සිටිනා තැන්වල ම සිටිති. එහෙත් එසේ කරන අනුවණ නෑයෝ ද සිටිති. ඒ අය සිහි කර සංඝයා විෂයෙහි දන් දී අනුමෝදන් කළ පින්වල විපාක එසැණින් ප්‍රේතයන්ට ලැබේ. මේ දක්වන ලද්දේ නෑයන් විසින් ඉටු කළ යුතු ඒ ඥාති ධර්මයයි.
මෙසේ කරන කුසල් (දාන);
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, පෙතවත්ථුපාළි - පිටු අංක 26 - 29)
“නිරුවත්, දුර්වර්ණ, කෙට්ටු වූ, නහර පෑදුණු, ඇට ඉලිප්පුණු නුඹ කවුරු ද?” යැයි සැරියුත් තෙරණුවෝ විමසූ සේක.
“පෙර ජාතිවල මම ඔබගේ මව වීමි. ප්‍රේත ලෝකයේ උපන් මම බඩගින්නෙන් හා පිපාසයෙන් පෙළෙමි. වමන, කෙළ, සොටු, සෙම, මළ සිරුරුවල මේද තෙල්, දරුවන් වැදූ ස්ත්‍රීන් ගේ ලේ, තුවාල ඇති අයගේ ලේ හා සැරව, නාසය කැපූවන්ගේ ලේ, හිස ගසා මරණු ලැබූ අයගේ යම් ලෙයක් වේ ද බඩගිනි නිසා අනුභව කරමි. ජීවත් වීමට තැනක් නැති ව සොහොනේ වසන මම, තිරිසනුන්ගේ සහ මිනිසුන්ගේ සැරව හා ලේ අනුභව කරමි. පුත, මා වෙනුවෙන් දන් දී පින් දුන මැනවි. එවිට මෙයින් මට මිදිය හැකිය”.
සැරියුත් තෙරණුවෝ ඒ වචන අසා, ඇය කෙරෙහි අනුකම්පාවෙන් මුගලන්, අනුරුද්ධ හා කප්පින තෙරවරුන් ඇමතූ සේක. සතර දිගින් වඩිනා සංඝයාට කුටි හතරක් සාදා පූජා කර, ආහාර පාන ද දන් දී, ඒ පින් මව් ප්‍රේතියට අනුමෝදන් කළ සේක. ඒ පින් දුන් සැණින් එහි විපාකය පහළ විය. එයින් ඇයට දිව්‍යමය ආහාර පාන, වස්ත්‍ර පහළ විය. ඇය විසිතුරු සුදු ඇඳුම් ඇති ව මුගලන් තෙරුන් වෙත එළඹියාය.
“මහත් ආනුභාවය ඇති දේවතාවිය, ඔබට මෙවැනි ලස්සන, ප්‍රිය උපදවන, දිලිසෙන, බබළන ශරීරයක් සහ මන වඩන වස්තුව කවර පිනකින් ලැබුනේ ද?” යැයි මුගලන් තෙරුණුවෝ ඇසූ සේක.
“පෙර දුක් ඇති ප්‍රේත ලෝකයේ ඉපදී උන් මම, සැරියුත් තෙරණුවන්ගේ දානය නිසා බිය නැති ව සතුටින් සිටිමි. කාරුණික වූ ඔබ වහන්සේට වන්දනා කිරීමට මෙහි පැමිණියෙමි” යැයි ඒ දේවතාවිය පැවසුවාය.
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, පෙතවත්ථුපාළි - පිටු අංක 02 - 03)
රහත්හු කෙත් වැනියහ.
දායකයෝ ගොවියන් වැනියහ.
දන් දෙන දේ බීජ වැනිය.
එසේ කුසල ඵලය උපදී. මිය ගිය ඥාති ප්‍රේතයෝ ඒ දානයේ විපාකයෙන් සුවපත් වෙති.
එසේ දායකයෝ කුසල් කර ප්‍රේතයන්ට ඒ පින් දී දෙව්ලොවට පැමිණෙති.